ඔබේ දරුවාව විභාගය සමත් කරවීමට නම් මේ කරුණු ටික මග අරින්නම එපා!

Categories හිරිමල් යෞවනයPosted on

මෙලොව එළිය දුටු දිනයේ පටන් ඔබට ලැබෙන්නේ නොයෙක් විදිහේ අභියෝග. හිටගන්න ඇවිදින්න කතාකරන්න ඊළගට අකුරු කියවන්න පාසල් යන්න මේ හැමදේම අභියෝගයක්. එත් මේ අභියෝග අතරේ ජීවිතයේ කඩයිම් පසු කරන්නත් වෙනවා. අපි මේවා කඩයිම් කියලා හදුන්වන්නේ ඒවා අනාගතයේදී ජීවිතයට හොදින්ම බලපාන නිසායි. අපේ දරුවන්ට කඩයිමක් කියලා හිතට තදින්ම දැනෙන මුල්ම අවස්ථාව තමයි සාමාන්‍ය පෙළ විභාගය කියන්නේ.

 

 

අවුරුදු එකොළහක කාලයක් තිස්සේ ලැහැස්ති වෙන මේ විභාගය දරුවන්ගේ වගේම මව්පියන්ගේ සිත් වල ඇති කරන්නේත් නිසැක බියක්.

 

මගේ පුතා වැඩ නමයම පාස් වෙයිද? ගණන් වලට ටිකක් දුර්වලයි තව ටියුෂන් එකක් බලන්න වෙයි! සිංහල වලට රිවිෂන් යවමු! අමතර වැඩ හැම එකක්ම නවත්තන්න ඕනි..

 

ඇත්තම කියනවා නම් අම්මලා තාත්තලාගේ මේ බය නිසා දැන හෝ නොදැනුවත්ව දරුවාව මානසික පීඩනයකට ලක් කරනවා. එහෙම බය වෙන එක සාධාරණයි ඒ මොකද දරුවන්ගේ අනාගතය ගැන තරම් දෙමව්පියන් බිය වෙන කිසි දෙයක් මේ ලෝකේ නොමැති තරම්. ඒත් මේ සා.පෙළ විභාගය දරුවන්ටත් අම්මලාටත් සාපයක් නොවෙන විදිහට දරුවාගේ මනසට බරක් නොවී සමත් කරගන්න පුලුවන් නම් ඒක කොච්චර දෙයක්ද? අපි දෙන මේ ටිප්ස් ටික හරියට පිළිපැද්දොත් ඔබත් දරුවත් දෙන්නම ගොඩ!

 

විභාගයට කලින්

දරුවාගේ ගුරුවරයා නිතරම මව්පියන් සමග ඉදිරියට කළයුතු දේවල් කතාකරනවා. මෙහිදී ඔබ නිතරම සූදානමින් ඉන්න ඕනි. දරුවා කවර් කරන්න ඕනි විෂයන්, ගන්න ඕනි ලකුණු ප්‍රමාණ, අතපසු වුණු තැන් වගේ දේවල්. මේ සහසම්බන්ධතාවය ඉතාම වැදගත් දරුවාට වේගවත් නිසි ඉලක්කයට යාමට.

 

කිසිම දරුවෙක් හැම විෂයකට දක්ෂයි කියන්න බෑ. එයාට අපහසු තැන් අනිවාර්යෙන්ම ඇති වෙන්න පුලුවන්. මෙහිදී මව්පියන් දරුවාගේ ලගින්ම ඉන්න ඕනි. ඒ අපහසු තැන් ලෙහෙසියෙන් පහසු කරන්නේ කොහොමද කියලා අවධානය යොමුකරන්න ඕනි. වැඩිපුර ප්‍රශ්න පත්‍ර කිරීමෙන්, කෙටි සටහන් වලින්, මතක තියාගැනීමෙන් වගේ දරුවා ග්‍රහණය කරගන්න ක්‍රමය බලලා ඒ තුළින් ඔහුව ගෙනියන්න අම්මලා සැලකිලිමත් විය යුතුයි.

 

මතක තියාගන්න! නිතරම දරුවාට මිතුරෙක් වෙන්න! දරදඩු නීති රීති මගින් සැර කිරීම් වලින් දරුවා තවත් පීඩනයට පත් වෙනවා. අපේ ආච්චිලා සීයලා පැළයක් වුනත් හිටවලා කියන්නේ ඒකට ආදරෙන් කතා කරන්න කියලා. පැළයක් ආදරේ නිසා ලස්සනට කීකරු වෙනවා නම් දරුවො කොච්චර කීකරු වෙයිද?

 

විභාගය දිනයේ

 

විභායට කලින් දවසේ රෑ දරුවා හොද නින්දක් ලැබිය යුතුයි. රෑ එළි වෙනකන් පාඩම් කරා කියලා ඔහුට ලැබෙන්නේ මනසට වෙහෙසක් පමණයි! මේක කවුරුත් කරන වැරැද්දක්! විභාග පරීක්ෂකයින් ගොඩක් දෙනා කියන කරුණක් තමයි දරුවන් විභාගය දවසේ උදාසීනයි, සමහරු නිදාගන්නවා කියලා. අම්මේ තාත්තේ දරුවාට නින්ද අත්‍යාවශයි! දරුවා කලින් නින්දට යෑමෙන් ප්‍රබෝධමත්ව උනන්දුවෙන් විභාගයට මුහුණ දිය හැකියි.

 

පෑන් පැන්සල් වල සිට අනික් හැමදේම සූදානම්ද කියලා බලන එක ඔබේ වගකීමක්! දරුවාව ඒවා වලින් නිදහස් කරන්න. සූදානම් කරගත යුතු දේ දරුවා සමග සාකච්ඡා කර කල් තියා ලැහැස්ති කරන්න.

 

නිතරම ධනාත්මකව සිතන්න. දරුවා නිතරම ඔබ දෙස බලනවා විභාගය ගැන ඔබ තබා ඇති බලාපොරොත්තු දරුවා දන්නවා. විභාගය සමත් වීම මගින් මගේ අම්මා තාත්තා සතුටු වෙන බව ඔහුට දැනෙන නිසා ඔහු කෙසේ හෝ මේ අභියෝගය ජය ගන්නයි උත්සාහ කරන්නේ. ඒක ලොකු ටාස්ක් එකක්! දරුවාව සැහැල්ලු කරන්න. විභාගයට හොදින් මුහුණ දෙන්න දිරිමත් කරන්න. විය හැකි විය නොහැකි දේ ගැන පසුව සිතමු!

 

විභාගයට පසු

විභාගයට පසුව නිවසට එන දරුවාව නොයෙක් ප්‍රශ්න අසා වෙහෙසට පත් කරන එක අම්මලාගේ සිරිතක්. ළමා මානසික විශේෂඥයින් පවසන විදිහට මේක හරිම වැරදි දෙයක්. ඔබ මොන ප්‍රශ්නය ඇහුවත් දැන් දරුවා විභාගයට ලියලා ඉවරයි. අවසානය තීරණය වෙන්නේ ලකුණු මත. ඒනිසා දරුවාව ප්‍රශ්න අහලා තවත් වට්ටන්න එපා. ඔහුට මානසික නිදහස ලබා දෙන්න.

 

මව්පියන් බලාපොරොත්තු වෙන්නේ අම්මේ මම විභාගය පාස් කියන වචනේ අහන්න කියලා අපි කවුරුත් දන්නවා. ඒත් එහෙම නොවුනොත් ඊළගට මොකද වෙන්නේ? දරුවා දුර්වලයෙක් කියලා හිතලා අත්හරිනවද? නෑ! තොමස් අල්වා එඩිසන් ට බල්බය නිපදවන්න 999 වතාවක් බැරි වෙලා ඔහු සැලුනේ නෑ තව උත්සාහ කරා. මේ ලෝකයේ කරන්න බැරි දේවල් බොහොම අඩුයි! එත් ඒ දේවල් එක සැරෙන් ඉටු කරගත්ත අය ඉන්නේ අතේ ඇගිලි ගානට. අම්මේ තාත්තේ ඔබේ දරුවා කවදාහරි  දිනනවා ඔහුට තව අවස්ථාවක් ලබා දෙන්න.

 

දරුවාව හොදින් සූදානම් කලොත් ප්‍රතිඵලත් හොද වෙන එක ගැන බය වෙන්න දෙයක් නෑ. මේ මිශන් එකේදි මව්පියන්ට තමයි ලොකුම වැඩේ බාරවෙන්නේ. ඒත් අපි මේ කියලා දුන්නු ටිප්ස් ටික හරියට අනුගමනය කරොත් විභාගයත් සමත් ජීවිතයත් සමත්! මේ දෙසැම්බරයේ සාමාන්‍ය පෙළ විභාගයට වාඩිවෙන අපේ දරුවන්ගේ දෙමව්පියන්ට මේ ලිපිය ප්‍රයෝජනවත් වෙයි කියලා අපි හිතනවා..

Like
Like Love Haha Wow Sad Angry

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *