අලූත උපන් බබා නාවන්නේ කොහොමද?

Categories අලුත උපන්Posted on
1

“බබා ඉපදිලා ගෙදර එක්කගෙන එද්දිම මහ ගෙදරින් අම්මලාවත් එක්කගෙන යමු. බබාගේ වැඩ තනියම කරගන්න මට තේරෙන්නේ නැහැනේ.” බබාව හම්බවෙන්නත් කලින් ඉඳලම සමහර අම්මලා මේ කතාව කියනවා අපිට ඇහිලා තියෙනවා. අලුත උපන් බබාව තනියම බලාගන්න බැහැ කියලයි ගොඩාක් අය හිතන්නේ. හැබැයි ඇත්ත ඒක නෙවෙයි. අම්මට තමයි බබාව හොදටම බබාව බලාගන්න පුළුවන්. හැබැයි ඒකට හොද දැනුමක් සහ තමන් ගැන හොද  ආත්ම විශ්වාසයක් තියෙන්න ඕන. එහෙම වුනොත් ඔබට පුළුවන් බය නැතුව බබාගේ වැඩ ටික කරගන්න. ඒ දැනුම සහ විශ්වාසය ඔබට ලං කරන එකයි Raisingchildren.lk අපේ එකම උවමනාව.

ඉතින් අද අපි ඔබට කියලා දෙන්න යන්නේ බබාව හරියටම නාවන්නේ කොහොමද කියලයි. ගොඩාක් අම්මලා මුලින් මුලින් බබාව නාවන්න හරිම බයයි. හැබැයි පහල තියෙන පියවර එක එක හරියට ඔලුවට දාගත්තා නම් බබා නාවන එක හරිම ලේසියෙන් ඔබටම කරන්න පුළුවන්.

 

  1. සූදානම

බබාව නාවන්න අතට ගන්න කලින් මෙන්න මේ ටික අතේ දුරට ගන්න. නෑවීමෙන් පස්සේ අන්දන්න පිරිසිඳු ඇඳුමක්, පිරිසිඳු සිනිඳු තුවායක්, බබාව හෝදන්න සුමුදු රෙදිකඩක්, පුලූන් සහ අලූත් නැපියක්.  තුවාය Baby Mat එක උඩ දිග හැරලා තියන්න. ඒ වගේම මතක තියාගන්න බබාව නාවද්දී කාමරය හෝ පරිසරය සුවදායී මට්ටමට උණුසුම්ව තියෙන්න ඕනේ. අධික වැසි දවසක බබාව නාවන්න එපා. බේසමට 5 cm ක් විතර උසකට වතුර පුරවන්න. වතුර සෙල්සියස් අංශක 36ක් උණුසුම් වෙන්න ඕන. හරියටම ඒ උෂ්ණත්වය තියෙනවද කියලා උෂනත්ව මානයකින් මනින්න පුලූවන් නම් තමයි ගොඩාක් හොඳ.

නැත්තම් ඉතින් ඔබේ අතේ මැණික් කටුවෙන් හරි වැලමිටින් හරි උණුසුම පරීක්ෂා කරන්න. එතකොට ඔබට තද උණුසුමක් දැනෙන්නේ නැත්නම් බබාව නාවන්න පුළුවන් ගානට වතුර උණුසුම්.

 

  1. නෑවිම

බබා නාවන බේසම සූදානම් කර ගත්තට පස්සේ බබාගේ ඇඳුම් ගලවන්න.  මුලින්ම මද රස්නේ වතුරෙන් පොගවා ගත්ත පුලූවන් ගුලියකින් බබාගේ ඇස් පියන් පිසදමන්න. ඇස් පියන් වල ඇතුලේ සිට පිටතට සුමුදුව පිරිමදින්න ඕනේ. ඇස් දෙකට වෙන වෙනම පුලූන් ගුලි දෙකක් පාවිච්චි කරන්න.

ඊට පස්සේ එක අතකින් බබාගේ හිස සහ උරහිස් වාරුකරගෙන අනිත් අතින් ඇග අල්ලගෙන හිමිහිට බබාව වතුර බේසම ඇතුලෙන් තියන්න. ඔලූව සහ උරහිස අල්ලාගත් අත එහෙමම තියාගන්න. අනිත් අත නිදහස් කරගන්න. ඊට පස්සේ ඒ නිදහස් අතින් වතුර අරං බබාගේ ඔලූවට දාලා අතින් සුමුදුව අතුල්ලන්න. කනට නං වතුර යන්න දෙන්න එපා. පිළිවෙලට බබාගේ මූණ, බෙල්ල, ඇග, ලිංගික ප‍්‍රදේශය, අත්, කකුල් සහ ඇගිලි හෝදන්න. එකට තෙමාගත් සුමුදු රෙදි කඩක් යොදාගන්න.

සතියට වතාවත් හෝ දෙවතාවක් බබාගේ කොණ්ඩය හෝදන්න. බබා ලොකු වෙනකං කොණ්ඩයට ෂැම්පු දාන්න ඕන නෑ කියලා හොදට මතක තියා ගන්න.

 

  1. ආරක්ෂාව

බබාව නාවන්න යද්දී ඔබ වැඩියෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ බබාගේ ආරක්ෂාව ගැන. වැරදිලාවත් 5 cm කට වඩා උසට බේසමට වතුර දාන්න එපා. ඒ වගේම තත්පරේකටවත් බබාව අතාරින්න එපා. නැත්නම් බබාව බේසමේ වතුරේ වුනත් ගිලෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම ලොකු වෙනකං බබාට සබන් ගාන්න එපා. සබන් වලට බබාව ඔබේ අතින් ලිස්සලා ගිහින් වැටෙන්න පුලූවන්. ඒ නිසා සබන් අඩංගු නැති සුමුදු පිරිසිදුකාරකයක් අව්‍යශම වෙලාවට විතරක් පාවිච්චි කරන්න. නෑව්වට පස්සෙ බබාව තෙත මාත්තු කරලා, ටිකක් ගණකම රෙද්දකින් ඔතලා ආරක්ෂිතව කොට් එකේ තියන්න. ඊට පස්සේ ගිහින් බේසමේ වතුර විසි කරන්න.

දැන් ඔබට තෙරුනා නේද බබාව හරියටම නාවන විදිහට. ඉතින් මේ පිළිවෙලට නාවනවා නම් කිසිම බයක් සහ අවධානමක් නැතුව බබාව නාවන්න පුළුවන්. ඒ වගේම වැඩිහිටි කෙනෙක් ලග නැතිවුනත්ත තනියම හරි බබාව නාවන්න දැන් ඔබට පුළුවන්.

1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *