අවුරුදු 3 ඉඳලා 5 වෙනකම් බබාට ගැලපෙන සෙල්ලම් මෙන්න.

Categories මුල් ළමා අවධියPosted on
බබා සෙල්ලම් කරන්න ඕනෙමද? ඔව්. ඒකෙ ආයේ වචන දෙකක් නැහැ. ඔබේ බබා අනිවාර්යයෙන්ම සෙල්ලම් කරන්න ඕනේ. දුවන්න ඕනෙ, පනින්න ඕනේ, වැටෙන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි තුවාල වෙන්නත් ඕනේ. මොකද ඒ දේවලින් තමයි බබා ඉගෙන ගන්න පටන් ගන්නේ. තමන් කවුද කියලා අදුර ගන්නේ. ලෝකෙ මොන වගේද කියල අදුර ගන්නේ.
හැබැයි බබා සෙල්ලම් කරන්න ඕන හින්දා කරන්නන් වාලේ ඔහේ සෙල්ලම් කරන්න දෙන්න එපා. මෙන්න මේ කරුණු ගැනත් ටිකක් හිතලා ඉන්න.
01. බබා එක්ක ඔබත් බබෙක් වෙන්න
බබාගේ සෙල්ලමේ වැදගත්ම කොටසක් තමයි මේ. පුලුවන් හැම වෙලාවකම ඔබ බබා එක්ක සෙල්ලම් කරන්න ඕනේ. දන්නවද එතකොට මෙන්න මේ දේවල් වලින් ඔබේ බබා ශක්තිමත් වෙනවා.
* බබාගේ මොලයේ වර්ධනය වෙනවා.
* බබාගේ ආත්ම විශ්වාසය වැඩි වෙනවා.
* බබාට අම්මගේ ආදරය, සතුට, ආරක්ශාව දැනෙනවා.
* බබාගේ සන්නිවේදන කුසලතාව වැඩි වෙනවා.
* අනිත් අයට සලකන්න ඉගෙන ගන්නවා.
දැන් තේරෙනවා නේද ඔබ බබා එක්ක සෙල්ලම් කරන එකෙන් බබාගේ ජීවිතේ ගොඩ නැගෙන්න අත්වැලක් වෙන හැටි. හැබැයි මෙතනදි ඔබ හොදට මතක තියාගන්න ඕනේ තව කාරණාවක් තියෙනවා. ඔබ බබා එක්ක සෙල්ලම් කරනවා වගේම බබා තනියම සෙල්ලම් කරන්න එකත් ගොඩා වැදගත්. ඒ වෙලාවට ඔබ බබාට පොඩි අදහසක් දෙන්න. ඊට පස්සෙ බබාට ඉඩ දීලා බලාගෙන ඉන්න.
02. බබාට හොදම සෙල්ලම
බබාට සෙල්ලම් කරන්න ආකාර දෙකක් තියෙනවා. එකක් නිදහස් සෙල්ලම්. අනිත් විදිහ සැලසුම් සහගත සෙල්ලම්. මේ අතරින් හොදම විදිහ තමයි නිදහස් සෙල්ලම. ඒක ඔබ බබාට කියල දෙන්න ඕනෙ නෑ. ඉබේම සිද්ධ වෙනව. ඒ සෙල්ලම මොකද්ද කියලා තීරණය වෙන්නේ ඒ මොහොතේ බබා කැමති දේ අනූවයි. ඒ වෙලාවට බබාට කැමති විදිහට හැසිරෙන්න දෙන්න.
සැලසුම් සහගත සෙල්ලම් නිවසෙදි වගේම එලියෙදීත් සිද්ධ වෙන්න පුලුවන්. පොත් කියවීම, පිහිනන්න ඉගෙන ගන්න එක මේ සෙල්ලම් වර්ගයට උදාහරණ විදිහට දක්වන්න පුලුවන්.
03. බබාගේ වයසට ගැලපෙන සෙල්ලම් මෙන්න
මේ ඔක්කොමත් හරි, ඒත් ඔබේ බබාගේ වයස අනූව කරන්න ඕන හරිම සෙල්ලම් ටික ඔබ දැනගෙන ඉන්න ඕනේ.
මුල් ළමා විය ගතකරන ඔබේ බබා දුවන්න, පනින්න, ගොඩනගන්න වගේම සමබරතාවය ගැන ඉගෙන ගන්නේ මේ කාලේදී. ඒ නිසා මෙන්න මේ දේවල් ටික වැඩිපුර බබාට ලං කරලා දෙන්න.
* විශාල ප්‍රමාණයේ සැහැල්ලු බෝල, කාඩ් බෝර්ඩ් පෙට්ටි වගේ දේවල් වලින් බබාට සෙල්ලම් කරන්න දෙන්න. එතකොට බබාට දුවන්න, ගොඩනගන්න වගේම අදින්න, තල්ලු කරන්න ඉගෙන ගන්න පුළුවන්.
* වෙළඳ පොලේ තියෙන Building Blocks වගේ දේවල් බබාට ගෙනත් දෙන්න.
* Rope, Hoops වගේ දේවල් බබාට දුන්නොත් සමබරතාවය සහ තවත් ශාරීරික ක්‍රියාකාරකම් ගැන බබාට තේරුම් යනවා.
* මාසෙකට දෙපාරක්වත් බබාව එක්කගෙන තවත් බබාලා සෙල්ලම් කරන Children’s Park එකකට යන්න. එතැනදී බබාගේ විවිධ ක්‍රියාකාරකම් වලට ඉඩ ලැබෙනවා වගේම එකමුතුකමසහ ගවේශනාත්මක සිතුවිලි පහල වෙනවා.
මෙන්න මේ විදිහට අවුරුදු 3 ඉඳලා 5 විතර වෙනකම් බබාට සෙල්ලම් කරන්න ඕන කරන ඉඩ හරි ගස්සලා දෙන්න. මොකද ඊළගට බබා මොන්ටිසෝරි යන කාලේ පටන් ගන්නවා. ඒ කියන්නේ හැමදේම පිළිවෙලට ඉගෙන ගන්න කාලේ. ඉතින් මේ වයසේදී ඔය උඩින් විස්තර කරපු විදිහට බබාගේ සෙල්ලම කළමනාකරණය කරගත්තොත්  ඔබ හිතුවටත් වඩා හොදට, ඉක්මණට බබාගෙ ශාරිරික වගේම මානසික දියුණුවත් සිද්ධ වේවි. ඒක ඔබට ඇස් දෙකෙන්ම බලාගන්නත් පුලුවන් වෙයි.
Like
Like Love Haha Wow Sad Angry

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *