අලුතෙන් අම්මා කෙනෙක් වුණ ඔබට වැදගත් උපදෙස් ටිකක්

Categories අලුත උපන්Posted on
mothers
1

පුංචි කාලේ ඔයා බෝනික්කෝ එක්ක සෙල්ලම් කරපු දවස් මතකද?. ඒ හැමදවසකම ඔයා ඔයාගේ බොනික්කව පරිස්සමෙන් බලා කියා ගත්තා නේද. අඩු තරමේ බෝනික්කව අල්ලන්නවත් නෙ කෙනෙක්ට ඉඩ දුන්නේ නැහැ. හැබැයි ඒ කලේ ගෙවිලා ගිහින් ඔයා අම්මා කෙනෙක් වෙනකොට ඊට වඩා වෙනස් අත්දැකීමක් ඔයාගේ සිගිත්ත එක්ක ඔයා විදිනවා. ඇත්තටම හැම දේටම වඩා ඔයාට වැදගත් පැටියාගේ පරිස්සම. ඒක බොනික්කෙක් බලා ගන්නවට වඩා ගොඩක් අමාරු දෙයක්. ඒ නිසාම අලුතෙන් අම්මා කෙනෙක් වුණ ඔයාට සිගිත්ත එක්ක ගත කාරන කාලේදී මේ උපදෙස් ගොඩක් වැදගත් වෙයි.

1. බබා කොයි වෙලෙත් නිදි, එක්කො අඬනවා

මුල් සති කීපයේ බබාගෙ වැඩේම නිදියන එක. බඩගිනි උනාම, මුත්‍රා කරන්න, මළපහ කරන්න ඕන උනාම මහ හයියෙන් අඬන එක තමා ලොකුම රාජකාරිය. සමහර වෙලාවට රස්නෙ වැඩි වෙලා දාඩිය දාන කොටත් බබා අඬනවා. මුල් සති කීපය පැය 3කට සැරයක්වත් කිරි දෙන්න ඕන. අඬන හැම වෙලේම කිරි පොවන්නේ නැතුව චුට්ටක් බලන්න බබා ඇයි අඬන්නේ කියල. ටික දවසක් යද්දි ඔයාට බබාගෙ පුරුදු ඉබේටම තේරෙයි.

2. පෙකණිය පරිස්සම් කරන්න

ටිකක් නුහුරුයි නේද. සමහර අළුත් අම්මල බයයි මේ ක්ලිප් එකක් ගහපු පෙකණියට. බබාව නාවල ඉවර වුනාම පෙකණි ප්‍රදේශය තෙතමාත්තු කරන්න. බබා මුත්‍රා කරාම ඒ අවට ගෑවිලා නම් තෙත රෙද්දකින් පිහිදල පිරිසිදු කරල වියළිව තබන්න. නැපි අන්දන කොට පෙකණිය වැහෙන්න අන්දන්න එපා. ඒ ප්‍රදේශය විවෘතව තබන්න.

3. කිරි වමනය ගියාට බය වෙන්න එපා

කිරි බිව්වට පස්සෙ බබාට කිරි වමනය යන එක සාමාන්‍ය දෙයක්. නිතර නිතර කිරි වමනය යන්නේ හරියට ගුඩුස් ගියෙ නැති වුනාම. කිරි බොන කොට ආමාශයේ එකතු වෙන වාතය පිට කරවන්න ඕනෙ. බබා කිරි බීපු හැටියෙ නිදි නම් කොට්ටයක් නැතුව හිස පැත්තකට හරවල නිදි කරවන්න. කිරි වමනෙ ගියත් බය වෙන්න ඕන නෑ. එහෙමත් නැත්නම් බබාව උරහිසට හේත්තු කරගෙන හිමීට පිට පිරිමදින්න.

4. පෝශණීය කෑම ගන්න

මුල් මාස කීපය බබා යැපෙන්නෙ ඔයාගෙ කිරි වලින්. ඉතින් ඔයාගෙ පෝශණය ඉතාම වැදගත්. කරවිල, කොස්, පොලොස් වගේ හොඳින් කිරි එරෙන ආහාර වර්ග කෑමට ගන්න. දොස්තර කෙනෙක්ගේ අනුමැතිය ඇතුව ඔයාගෙ ඌණතාවයන්ට සරිලන විටමින් වර්ග නොවරදවාම ලබාගන්න

5. බබා ගැන වගේම තමන් ගැනත් හිතන්න

හුඟක් වෙලාවට දවල් දවසම හොඳට නිදාගන්න පුංචි පැටියා රෑ තිස්සෙම ඇහරගෙන කෑගහනවා. එහෙම වුනාම දවල් දවසත් ඇහැරන් ඉන්න ඔයාට මහන්සිය වැඩියි. ඒ නිසා දවල්ට බබා නිදියන කොට ඔයත් පැයක් දෙකක් නිදා ගන්න. බබා නිදි විවේකයේදි පොඩි වොශ් එකක් දාගන්න. පත්තරයක් කියවන්න. හැම වෙලේම සැහැල්ලු මානසිකත්වයකින් සහ පිරිසිදුව ඉන්න බලන්න. මොකද අම්මගේ මානසික තත්ත්වය සහ පිරිසිදුකම බබාටත් බලපානවා.

6. අමතර මල්ලක්

නිතරම බබාගෙ ගමන් මල්ලක් සූදානම්ව තියාගන්න. පැම්පස් දෙකක්, අලුත් නැපි සෙට් එකක්, පොඩි තුවායක් වගේ බබාට අවශ්‍යම දේවල් දාපු අමතර මල්ලක් වෙනම තියාගන්න. කලබලේට ගමන් යන කොට හැමදේම මතක් වෙන්නෙ නැති නිසා මේක ඔයාට ගොඩක් පහසු සහ වැදගත් දෙයක් වේවි.

 

7. නෑයෝ සහ යාළුවෝ

බබෙක් ඉපදුනාම නෑදෑයො යාළුවො බබා බලන්න එනවා ඉවරයක් නැතුව. ඒත් ඕනවට වඩා සෙනඟ බබා ලඟ ගැවසෙන එක ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි. විශේෂයෙන් බෝ වෙන රෝග පැතිරෙන කාලෙක කට්ටිය බබා බලන්න එන්න අහද්දි එන්න එපා කියන්නත් බැහැ අපේ රටේ හැටියට. එහෙම කට්ටිය එන්න අහන කොට කීප දෙනෙක්ට එකම දවසක එන්න කියන්න. එකපාර කට්ටියම බලල ගියාම බබාට සහ ඔයාට කරදරයක් නෑ. හැමදාම එක එක්කෙනා එන එක ඔයාලගෙ විවේකයට ඒ තරම් ගුණ නෑ. අළුත උපන් දරුවා සහ මව දෙන්නම ඉන්නේ වෙහෙසට පත් වෙලා. ඔයාලට විවේකය අවශ්‍යමයි.

1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *