බාබාව මුලින් ඝන ආහාරවලට හුරු කරන කොට මේ දේවල් අමතක කරන්න එපා.

Categories අලුත උපන්Posted on
newborn

අලුතෙන් පොඩ්ඩෙක් ඉපදුනහම පළවෙනි මාස 06 යන කම් එයාට මව්කිරි හැරුණම වෙනත් කිසිම ආහාරයක් ලබා දෙන්නේ නැහැ නේ. එහෙම ලබා දෙන්න කියලා වෛද්‍යවරු නිර්දේශ කරන්නෙත් නැහැ. ඔයාගේ බබාත් ඉපදිලා මුල්මාස කිහිපය ගෙවන කම් මව්කිරි ලබා දෙන්න ඇති. හැබැයි මාස 06 ගත වුනාට පස්සේ එයාව ඝන ආහාරවලට හුරු කරන්නම වෙනවා. බබාව මුලින්ම ඝන ආහාරවලට හුරු කරන කොට  මේ ආහාර ලබා දෙන්න අමතක කරන්න එපා.

1. කෙසෙල්

ළදරුවන්ට අවශ්‍ය පෝෂණය සපුරන්න තියෙන හොඳම පළතුරක් තමයි කෙසල් කියන්නේ. පොටෑසියම් වලින් පොහොසත් කෙසෙල් ශරීරයේ තෙතමනය රැක ගනිමින් වියලීම අවම කරනවා. ඒ වගේම මාංශ පේශි වල නිසි ක්‍රියාකාරිත්වයට සහ දරුවාගේ හෘද සෛල හා හෘද රිද්මය මැනවින් පවත්වාගෙන යන්න හේතුවක් වෙනවා.

මීට අමතරව, කෙසෙල් මඟින් දරුවාට අවශ්‍ය කාබෝහයිඩ්රේට් ප්‍රමාණවත් පරිදි ලබා දෙන අතරම එහි ඇති තන්තු දරුවාගේ අහාර ජීර්ණය පහසු කරවනවා. ඉදුණු කෙසෙල් ගෙඩියක් ගෑරුප්පුවකින් හෝ හැන්දකින් ඉතා හොඳින් පොඩි කර දරුවාට ලබා දෙන්න.

2. අලිගැට පේර

දරුවා පෝෂණය කළ හැකි තවත් හොඳම ආහාරයක් තමයි අලිගැටපේර. අලිගැටපේර වල ඇති හිතකර මේදය දරුවාගේ මොළයේ වර්ධනයට උපකාරී වෙනවා වගේම සිරුරට ශක්තිය ලබා දෙනවා. හොඳින් පොඩි කර ගත් අලිගැටපේර වලට මව් කිරි ස්වාල්පයකුත් එකතු කර දරුවාට ලබා දෙන්න.

3. කැරට්

කැරට් වල අඩංගු බීටා කැරොටින් දරුවාගේ සම පෝෂණය කරනවා. තවද එය විටමින් C, K සහ B8 ,කැල්සියම්, පොටෑසියම්, යකඩ සහ මැග්නීසියම් ඇතුළු පෝෂ්‍ය පදාර්ථ රැසකින් සමන්විතයි. දරුවාගේ ඇස් පෙනීම වර්ධනය කරන්නත් ප්‍රතිශක්තිකරණ පද්දතිය වර්ධනය කරන්නත් කැරට් වල ඇති පෝෂ්‍ය පදාර්ථයන් ඉවහල් වෙනවා.

4. බතල

බතල කියන්නේ එහි ඇති රසවත් බව නිසා දරුවන්ට ඉතා පහසුවෙන් කවන්න පුළුවන් තවත් පෝෂ්‍යදායි ආහාරයක්. බතල වලත් බීටා කැරොටින් අඩංගු වෙනවා. එය ශරීරයේදී විටමින් A බවට පරිවර්තනය වෙනවා. විටමින් A ඇස් පෙනීමත්, සෞඛ්‍ය සම්පන්න සමක් ලබා ගන්න උදව් වෙන අතරම බිළිඳාගේ සමස්ත වර්ධනයට බලපානවා.

පොතු ඉවත් කර හොඳින් තම්බා ගත් බතල හොඳින් පොඩි කර එයට වතුර ස්වල්පයක් එක් කර එහි ඇති ඝන බව අවම කර දරුවාට ලබා දෙන්න.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *