දරු පැටියෙක් අපේක්ෂා කරන ඔබට

Categories වැදගත් උපදෙස්Posted on
pregnancy

ඔබ   පුංචි පැටියෙක් අපේක්ෂාවෙන් පසුවන මවක් නම් දරු ගැබක් පිළිසද ගැනීමට බොහෝ කාලයක සිට සැලකිලිමත් විය යුතු කරුණු බොහෝමයක් තිබෙනවා. මේ සැලකිලිමත්  භාවය දරුගැබක් පිහිටීමට මෙන්ම දරුවෙකු පිළිසද ගැනීමෙන් පසුවද බොහෝ වැදගත් වනවා.

සමබර ආහාර වේලක් ලබා ගන්න.

 

  • නැවුම් එළවලු සහ පලතුරු වලින් ඔබට අවශ්‍ය විටමින් බොහොමයක් ලබා ගන්න. මේවා සලාද ලෙස අමුවෙන් ලබා ගැනීමට හැකි නම් ගොඩාක් වැදගත්. එයට හේතුව වන්නේ රත් කර සකසා ගැනීම නිසා ඒවායේ ඇති ගුණ විනාශ වීමයි.
  • මාළු වල තිබෙන ඔමේගා 3 මේද අම්ලය දරුවෙකුගේ මොලය හා ස්නායු පද්ධතියේ වැඩීමට උපකාරී වෙනවා.  එමෙන්ම මාළු ආහාරයට ගැනීමෙන් අඩු මාස දරූ උපත් හා අඩු බර දැරූ උපත් සිදු වීම වළක්වා ගන්න පුළුවන්. නමුත් ලොකු මාළු අඩුවෙන් ආහාරයට ගැනීමට පරිස්සම් විය යුතුයි. එයට හේතුව වන්නේ ලොකු මාළුන්ගේ ශරීරයේ රසදිය තිබිය හැකි බවට මතක් තිබීමයි. එම නිසා පොඩි මාළු වැඩිපුර ආහාරයට ගන්න.
  • ගැබ් ගැනීමට පෙර මවගේ සිරුරේ කැල්සියම් සංචිතයක් තිබීම පසු කාලීනව කලලයට ප්‍රයෝජනවත් වෙනවා. ගැබිනියක් වීමට පෙර සුදානමක් ලෙස කිරි, යෝගට් හෝ චීස් ලබා ගන්න. ඔබට අවශ්‍ය නම් වෛද්‍ය උපදෙස් මත කැල්සියම් පිටින් ලබා ගන්නත් පුළුවන්.
  • කාබෝහයිඩ්රේට් අඩංගු ආහාර වලින් බර වැඩි වෙනවා. නමුත් එයින් ශරීරයට ශක්තිය ලැබෙනවා. කාබෝහයිඩ්රේට් වල ගුණ සහ අගුණ ප්‍රබේද දෙකක් තිබෙනවා. ගැබිනියක් වීමට පෙර අගුණ ප්‍රබේදය වන සීනි කෑම හැකි තරම් අඩු කරන්න. ඒ වෙනුවට නිවුඩු සහල්, ධාන්‍ය වර්ග සහ අර්තාපල් වැනි ගුණ ප්‍රබේද ලබා ගන්න.
  • ගර්භණි සමයේ බඩවැල් වල ක්‍රියාකාරිත්වය අඩු වෙනවා. මේ නිසා ගැබිනියකගේ බඩවැල් වල ක්‍රියාකාරිත්වය වැඩි කිරීමට උපකාරී වන කෙඳි සහිත ආහාර ලබා ගැනීම ගොඩක් වැදගත් වෙනවා. නමුත් කෙඳි සහිත ආහාර ලබා ගැනීම එක වර වැඩි කිරීමත් සුදුසු නැහැ. එම නිසා කෙඳි සහිත ආහාර ගැනීම කළ යුත්තේ ක්‍රම ක්‍රමයෙනුයි. මේ නිසා දරුවන් අපේක්ෂිත මවක් ගර්භණි වීමට පෙර සිටම ක්‍රමක්‍රමයෙන් කෙඳි සහිත ආහාර ලබා ගැනීමට හුරු විය යුතුයි.
  • ගර්භණි වූ විට වෙනස් වන හෝමෝන වල ප්‍රතිඵලයක් ලෙස බඩවැල් වල ක්‍රියාකාරිත්වය අඩු වී, මළ බද්ධය ඇති වීමේ අවදානමක් පවතිනවා. මේ නිසා ජලය සහ පලතුරු යුෂ වැනි දියර වර්ග ලබා ගැනීම වැඩි කරන්න. නමුත් තේ, කෝපි සහ පැණි බීම වර්ග ලබා ගැනීම අඩු කරන්න. ඒවායේ ඇති කැෆේන් රුධිර නාල වලට අහිතකර ලෙස බලපා, ගර්භාෂය සහ ඩිම්බ කෝෂ වලට රුධිරය සපයන ප්‍රමාණය අඩු කරනවා. එමෙන්ම කැෆේන් ඊස්ට්‍රජන් හෝමෝනයේ ක්‍රියාවලියට බාධා පමුණුවනවා.
  • මේ කාලයේදී මේදය, ලුණු සහ සීනි අඩංගු ආහාර ලබා ගැනීම හැකි තාක් අඩු කරන්න.
  • ගැබිනියක් වීමට පෙර විටමින් C සහ D ශරීරයට ලබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ගැබිනියක් වූ පසු නිපදවෙන රතු රුධිරාණු ප්‍රමාණය වේගයෙන් වැඩි වෙනවා. විටමින් C මඟින් රතු රුධිරාණු නිපදවීමට උපකාරී වෙනවා. විටමින් D අස්ථි වර්ධනයට උපකාරී වෙනවා.
  • කළලයේ පටක වර්ධනය වීමට විටමින් A අවශ්‍ය වෙනවා. මේ සඳහා කහ පාට එළවලු ලබා ගන්න. නමුත් විටමින් A ඉතා අධික ආහාර ලබා ගැනීමත් සුදුසු නැහැ. මේ නිසා විටමින් A අධික පීකදු හෝ මෝර තෙල් ලබා ගැනීම මේ කාලයේදී අඩු කරන්න.
  • යකඩ කුස තුල වැඩෙන දරුවාට අත්‍යවශ්‍ය සංඝටකයක් වෙනවා. දරුවාගේ කළලය තුල රුධිර සෛල සහ වෙනත් වැදගත් ප්‍රෝටීන නිපදවීමට යකඩ උපකාරී වෙනවා. එළවලු පමණක් ආහාරයට ගන්නා මව්වරුන්, මේ වන විටත් දරුවන් කීප දෙනෙකුම සිටින මව්වරුන්, රක්තහීනතාවයෙන් පෙළුණු මව්වරුන් සහ ගැබ් ගැනීමට පෙර ඔසප් වීමේදී වැඩියෙන් රුධිරය පිට වූ මව්වරුන් තමන්ගේ ශරීරයේ ඇති යකඩ ප්‍රමාණය ගැන සැලකිලිමත් විය යුතුමයි. පළා වර්ග, ධාන්‍ය වර්ග වලට අමතරව වෛද්‍ය උපදෙස් මත ලබා ගන්නා යකඩ පෙති මඟින්ද සිරුරට යකඩ ලබා ගන්න පුළුවන්. විටමින් C යකඩ සිරුරට උරා ගැනීමට උපකාරී වන නිසා, යකඩ පෙති සමඟම විටමින් C ලබා ගැනීමත් වැදගත් වෙනවා.
Like
Like Love Haha Wow Sad Angry

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *