නිවැරදිව කිරිඅම්මා දානයක් දෙන්නේ කොහොමද?

Categories වැදගත් උපදෙස්Posted on

බබා බඩට එන්න කලින් ගොඩක් අය කිරි අම්මා දානයකට පත්තිනි මෑණියන්ට භාර වෙනවා. ඒ නිරෝගී දරු සම්පතක් වෙනුවෙන්. බබාලා නැති අයත් බබාලා ලැබෙන කියලා මෙලෙස භාරහාර වෙනවා. හැබැයි සමහරු නම් කිරි අම්මා දානයක් නිවැරදිව දෙන්න දන්නේ නැතිව ඇති. ඒ අයට මේ ලිපිය ගොඩක් වැදගත් වෙයි.

දානය දෙනු වෙලාව?

කිරි අම්මා වරුන්ගේ දානය දෙන්නේ හිමිදිරි පාන්දර. ඒ එනම් “කොස් නැටි පෙනෙන” වෙලාවටයි. කියන්නෙ උදේ 5ට විතර. ඒ අනුව එක් පත්තිනියකට විනාඩි හත බැගින් විනාඩි හතලිස් නමයක කාලයක් තුළ මෙය නිම කළ යුතු වෙනවා.

දානය නිවැරදිව පිළියෙල කරන ආකාරය.

මේ සඳහා කෑම වර්ග හතක් පිළියෙල කරනවා. ඒ සෑම කෑම වර්ගයකින්ම හත බැගින් එක් කිරි මවකට පිළිගන්වනවා. ඒ කිරිබත් කෑලි හතයි, කිරි කෑලි හතයි, හැඳි කැවුම් (කොණ්ඩ නැති කැවුම්) හතයි, කෙසෙල් ගෙඩි හතයි, හකුරු කෑලි හතයි ආදී වශයෙන්. හැම කිරිමවක් ම ආහාර අනුභව කරන්නේ නොඉඳුල් කෙසෙල් කොළ.

කිරිඅම්මාවරුන්ගේ දානය දෙන්නේ මෙහෙමයි.

– කිරි දානයක් සදහා සුදානම් වීමේදී දානය දෙනු ලබන නිවස තුලට මස් මාංශ හා අනෙකුත් පිළී ආහාර ද්‍රව්‍යන් රැගෙන ඒම දානය දෙනු ලබන දිනට පෙර අවම දින 3 ක කාලයක් සිට නනවත්වා නිවස හා ගෙවත්ත පිරිසිදු කර දානය දීම සඳහා සූදානම් වෙනවා.

– නිවස මෙන්ම නිවැසියන්ද මේ කාලය තුල පිළීආහාර වලින් වැළකී පේවීම සිදු කරන්නේ වඩාත් හොඳින් දේව ආශිර්වාදය ලබා ගැනීමේ අරමුණීන්.

– නියමිත වේලාවට ප්‍රධාන කිරි අම්මා පෙරටුකරන් දානයට වාඩිවන කිරි අම්මාවරු පළමුව සත් පත්තිනි පහනේ තිරය බැගින් දල්වනවා. සත් පත්තිනි පහන සඳහා සුදානම් කරන පහන් තිර ශක්තිමත්ව තරමක් මහතට සකස් කරනවා.

– දෙවනුව හඬ නගා පන්සිල් ගැනීම කරනවා.

– තෙවනුව විනාඩි පහළොවක් පමණ පත්තිනි හෑල්ලේ කවි ගායනා කරනවා.

– සිව්‍වනුව දානය වළඳනවා. ඒ සඳහා වැය කරනුයේ විනාඩි පහළොවක තරම් වූ කාලයක්. දානය වැළඳීමට පෙර තම ආහාර බඳුනෙන් ස්වල්පයක් ඉෂ්ට දේවතාවුන් සිහිකර ඔවුන් වෙනුවෙන් එය ඉවත් කර පත් කොළයේ පසෙකින් තියනවා.

– පස්වනුව දෙවියන්ට පිං අනුමෝදන් කරනවා.

– ඉන්පසු නැගී සිටිනා කිරි අම්මාවරු හයවනුව සත් පත්තිනි පහනේ ඇති පහන් තිරය බැගින් අතට ගෙන රෝගියා හෝ බබා අසලට ඇවිත්”සියලු රෝග නිවාරණයි” කියමින්, සත් වරක් බිළිඳාගේ/රෝගියාගේ කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ගෙනයමින් ආශිර්වාද කරනවා.

– සත්වනුව ඒ අසල තබා ඇති පොල් කිරි භාජනයට එම තිරය දමා තිරය නිවා දමනවා.

– ඉන් පසු තමාට පිළිගැන්වු ආහාරවල ඉතිරි කොටසද රැගෙන පසුපස නොබලා කඩුල්ල පැන පිටත්ව යනවා.

– සමහර ප්‍රදේශ වල නිවස කඩුල්ල පැන යාමට පෙර ප්‍රධාන කිරි අම්මා විසින් දානය දුන් පවුලේ සාමාජිකයන්ගේ සියළු දොස් දුරුවේවායි කියා පොල් ගෙඩියක් මන්නයෙන් බිද, ජලය පුරවා තිබූ කළයේ වතුරින් කිරි මව්වරුන් දෙපා සෝදා ගෙන නිවැසියන්ට සෙත් පතා පසු පස නොබලා යනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *