විවිධ වයස් කාණ්ඩ වලට අනුව දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට මව්වරුන්ට ගත හැකි පියවර මොනවාද?

Categories PreteensPosted on

ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ප්‍රධාන අරමුණ වන්නේ වෛරස් සහ බැක්ටීරීයා වලින් අපගේ ශරීරය ආරක්ෂා කර ගැනීමයි.

ප්‍රතිශක්තිකරණ පද්ධතිය නිරතුරුවම ශක්තිමත්ව පැවතිය යුත්තේ, එසේ නොවුනහොත් ශරීරය දුර්වල වීමට සහ උණ, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග වලට ගොදුරු වීමට වැඩි ඉඩකඩක් ඇති බැවිනි.

සිරුරට අහිතකර වන වෛරස, බැක්ටීරියා සෛල හඳුනාගෙන ඒවාට එරෙහිව කටයුතු කරමින් සිරුර ආරක්ෂා කිරීම ප්‍රතිශක්තිකරණ පද්ධතියේ මූලික කාර්යබාරය වේ.

ප්‍රතිශක්තිකරණය සිරුරට අතිශයින්ම වැදගත් වන්නේ එබැවිනි.

බාහිර පරිසරයේ පැතිරී යන විවිධ වසංගත රෝග වලින් ඔබේ දරුවා සුරක්ෂිත කර ගැනීමට ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මනාව නඩත්තු කිරීම සෑම මව් පිය යුවළකගේම වගකීමකි.

අවට පරිසරයෙන්, සුරතල් සතුන්ගෙන් සහ අනෙක් පුද්ගලයන්ගෙන් බෝවිය හැකි විවිධ ලෙඩ රෝග වලට කුඩා දරුවන් පහසුවෙන් රෝගී වීමට ඉඩ ඇත. එවන් ලෙඩ රෝග වලින් කුඩා දරුවන් ආරක්ෂා කර ගැනීමට නිසි ලෙස නඩත්තු කරන, නිසි පරිදි ක්රියාත්මක වන ප්‍රතිශක්තිකරණ පද්ධතියක වැදගත්කම ගැන මව්වරුන් ලෙස ඔබ දැනුවත් ද?

පරිසරයෙන් හෝ සමාජයෙන් මතු වී පැමිණෙන වසංගත රෝග සම්පූර්ණයෙන්ම මැඩ පැවැත්වීමට හැකියාවක් නොලැබුනත්, මව්වරුන් ලෙස දරුවන් එවන් රෝග තත්ත්වයන්ගෙන් ආරක්ෂා කර ගැනීමට ඔබට කටයුතු කළ හැක.

ප්‍රතිශක්තිකරණ පද්ධතිය සමන්විත වන්නේ රෝග, විෂබීජ සහ වෙනත් අහිතකර ආක්‍රමණික සෛල වලට එරෙහිව සටන් කරන සෛල, ප්‍රෝටීන , පටක සහ අවයව වලින්ය.

අනාරක්ෂිත ද්‍රව්‍යක් ශරීරයට ඇතුළු වූ විට, ප්‍රතිශක්තිකරණ පද්ධති එම අහිතකර සෛල වලට ප්‍රතිවිරුද්ධව ක්‍රියාකරයි.

වයස අවුරුදු 7-8 පමණ වන තුරු කුඩා දරුවන්ට අංගසම්පූර්ණ, ශක්තිමත් ප්‍රතිශක්තිකරණ පද්ධතියක් නොමැත. ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශරීරයට රෝග හා ආසාදන වලට එරෙහිව සටන් කිරීමට උපකාරී වන හෙයින්, වැඩිහිටියන්ට සාපේක්ෂව දරුවන්ට කැස්ස, පාචනය, සෙම්ප්‍රතිශ්‍යාව , ඉන්ෆ්ලුවන්සා හා ආහාර අසාත්මිකතා වැනි රෝග තත්වයන් ඇති වීමේ අවදානමක් ඇත.

එබැවින් වයස අවුරුදු 7ට පමණ අඩු දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ හැකියාව පිළිබඳව මව්වරුන් වැඩි අවධානයක් ලබා දිය යුතුය.

මෙලෙස දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට මව්වරුන් ලෙස ඔබට ගත හැකි සරල පියවර රාශියකි.

වයස අවුරුද්දක් පමණ වන තෙක් කුඩා දරුවන් සඳහා අවශ්ය ප්‍රතිශක්තිය මව් කිරි ඔස්සේ ඔවුන්ට ලැබෙන බව අප දනී.

මව්කිරි, ප්‍රතිශක්තිකරණ පද්ධතියේ වර්ධනයට සහ රෝග වලින් ආරක්ෂා වීමට බලපාන බව තහවුරු කොට ඇත.

ප්‍රතිශක්තිය ඉහළ නැංවීමේ සඳහා ළමා රෝග පිළිබඳ ඇමරිකානු ඇකඩමිය නිර්දේශ කරන්නේ ළදරුවෙකුගේ ජීවිතයේ පළමු වසර තුල මව් කිරි දීම යෝග්‍ය බවය.

වයස අවුරුදු 1-3 ත් අතර දරුවන් සඳහා මව්කිරි දීම දිගටම කරගෙන යාමෙන් දරුවාගේ ප්‍රතිශක්තිය ගොඩනැගීම තවදුරටත් සිදු කළ හැක.

එළවළු සහ පලතුරු දරුවන්ගේ ආහාර වේලට වැඩි වශයෙන් එකතු කිරීම සහ ක්රියාකාරීව කටයුතු කිරීමට දරුවන්ට අවකාශය සැලසීම මගින් ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය තවදුරටත් ශක්තිමත් කිරීමට හැක.

වයස අවුරුදු 3-5 අතර දරුවන් දිවා සුරැකුම් මධ්‍යස්ථානයන් හි රඳවා තබන්නේ නම් හා පෙරපාසල් යනවිට විෂබීජ වලට නිරාවරණය වීමේ අවදානම ඉහළය.

නමුත් එම විෂබීජ පැතිරීම වැළැක්වීම සඳහා නිතර සබන් යොදා නිවැරදිව අත් සේදීමට දරුවන්ට ඉගැන්විය හැකිය.

එමෙන්ම යෝගට්, එළවළු, පළතුරු, මස් මාළු වැනි පෝෂ්ය පදාර්ථ යහමින් අඩංගු සමබර ආහාර වේලක් ලබා දීම මගින් දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නංවන්න, මව්වරුන් ලෙස ඔබට කටයුතු කළ හැක.

ප්‍රතිශක්තිකරණ පද්ධතිය ගොඩනැගීම සඳහා විටමින් A, විටමින් C, විටමින් E, අත්‍යවශ්‍ය මේද අම්ල සහ සින්ක් අඩංගු මස්, මාළු, කිරි, යෝගට්, එළවළු සහ පළතුරු ආදිය දරුවන්ට නිරතුරුව ලබා දෙන්න.

අතිරේක ආහාර වේල අතරතුරදී වුව අනවශ්‍ය මේද, කාබෝහයිඩ්රේට් හෝ සීනි අඩංගු ආහාර ලබා දීමට වඩා විටමින් A, C, E සහ සින්ක් වැනි ප්‍රතිශක්තිය ඉහළ නංවන පෝෂ්‍ය පදාර්ථ අඩංගු ආහාර දරුවන්ට ලබා දීමට මව්වරුන් ලෙස සැළකිලිමත් වන්න.

නිසි සෞඛ්‍යාරක්ෂිත සහ පෝෂ්‍යදායක ආහාර වේලක් ලබා දීම මගින් දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය තවදුරටත් ශක්තිමත් කිරීමට මව්වරුන්ට කටයුතු කර හැක.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *